ඌවේ සමාජ ඓතිහාසික උරුමය වූ කලී එහි දිගු සහ පොහොසත් සමාජීය දේශපාලනික ප්‍රගමණයේ වෙසෙස් පියසටහන් සමුදායකි. ස්වදේශයේ අන් කවර ප්රදේශයකටත් නොදෙවෙනි වූ සංස්කෘතික, කලා ඓතිහාසික සහ සමාජ දේශපාලනික ශක්නුතාවයන්ගෙන් පොහොසත් නූතන ඌව, පරිපාලන ඛෙදීම් අනුව බදුල්ල සහ මොනරාගල දිස්ත්රික්කයන්ට අයත් සේ සැලකෙන නමුත් එහි පැරණී භූ භෞතික වපසරිය වඩා සුවිසල් ප්‍රදේශයක පැතිරී තිබුණු බවට ඕනෑ තරම් ඓතිහාසික සාක්ෂි තිබේ.
ඌවේ ප්රාග් ඓතිහාසික ජනාවාස භූමි ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික මානව පරිණාමයේ ආරම්භක අවධීන් සමග අත්‍යන්ත ලෙස බැඳුණු සුවිශේෂී ජනාවාස සහ දඩයම් භූමිවල කොටසකි. මේ දක්වා සිදු කෙරුණු විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව එහි ආදිතම නියෝජන මඩොල්සිම, බණ්ඩාරවෙල, රාවණා ඇල්ල, බිබිල නිල්ගල ගුහාව, හපුතලේ ආදී ක්ෂේත්රවලින් හමුවී ඇති පැලියෝලිතික සහ මෙසොලිතික ශීලා මෙවලම් හා අනෙකුත් පුරාකෘති මගින් තහවුරු කෙරී තිබේ. රාවණා ඇල්ල සහ නිල්ගල ක්ෂේත්‍ර වලින් සොයා ගැණුනු හරස් දාර සහිත ඇටකටු පතුරුවලින් කළ මෙවලම් තෙත් කලාපයෙන් හමුවූ අදින් වසර 28,500 සහ 12,500 කට පමණ පෙර කාලයට අයත් මෙවලම්වලට සමාන වේ.
ශ්‍රී ලංකාවේ ආදි ජන කණ්ඩායම් වනබිම්වල සිට කෘෂිකාර්මික ශිෂ්ටාචාර වෙත ප්රවේශවීමේ සංක්‍රාන්තික අවධිය වන පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳ සාක්ෂි අතින්ද ඌව පොහොසත් වේ. ඒ අතරින් ක්‍රි.පූ. 2400 – 450 අතර කාලයට අයත් වේ යයි පූර්වානුමාන කළ හැකි හල්දුම්මුල්ල හා ඛෙරගල සුසානභූමි දෙකකින් සොයා ගන්නා ලද සාධක සුවිශේෂී වේ.
ඌව, මුල් අනුරාධපුර යුගයේදි රෝහණයට අයත් ප්‍රදේශයක් වූ නමුත් අනුරාධපුර හා පොළොන්නරු රාජධානිවල බොහෝ කාලවකවාණුවලදී රජරට විෂ්ටාචාරය හා රෝහණ උප රාජධානිය එකිනෙකින් වෙන්කළ ඒ ප්‍රදේශ ද්වයේම පාලකයින්ගේ රක්ෂස්ථානය හා පසමිතුරු රණභූමිය ලෙසද තොරා ගැණින.
ඌවේ කෙන්ද්‍රීය බෞද්ධ සිද්ධස්ථාන වන මහියංගණය හා මුතියංගණය බුදුන්වහන්සේගේ ලංකා ගමනය පිළිබඳ ප්රවාදිත ඓතිහාසික පුවත් සමග සබැඳී පවතී. එමෙන්ම ශ්‍රී ලංකාවේ මහා බෝධි සංස්කෘතියට අයත් අෂ්ඨඵලරුහ බෝධීන් හා දෙතිස්ඵලරුහ බෝධීන් රෝපිත පූජනීය භූමි අතරට ද කතරගම, මහියංගණය, මුතියංගණය, බුත්තල හප්පෝරුව සහ විලැත්ගොඩ යන විහාර ඇතුලත්ව තිබේ.
මුල් අනුරාධපුර යුගයේදී ඌව හැඳීන්වූයේ හුවාවකණ්ණික නමිනි. අනුරාධපුර රාජධානියේ දේවානම් පියතිස්ස ( කි.පූ. 250-210 ) දුටුගැමුණු ( ක්‍රි,පූ. 161-137 ) සද්ධාතිස්ස ( ක්‍රි.පූ. 137-119 ) පළමුවන ජෙට්ඨතිස්ස ( ක්‍රි.ව. 263-273 ) වැනි රජවරුන් හා රෝහණයේ රාජකීයයන් ඌවේ සමාජ සංස්කෘතියට එක්කළ දායාදයන් බොහෝ වේ. රජරට හා රෝහණය එක් කෙරෙන ප්‍රධාන මාර්ගය ඌවේ ජනාවාස භූමි හා කඩවත් හරහා වැටී තිබුණූ අතර 11 වන සියවස පමණ වන විට මේ ප්‍රදේශය හූව ( හූව රට්ඨ ) නමින් ව්‍යවහාර වූයේය.
ක්‍රි.ව. 1017 දී පස්වන මිහිඳු රජු අල්වා ගැනීමෙන් පසු රජරට ශීෂ්ඨාචාරය දකුණු ඉන්දියාණු සොළී අධිරාජ්‍යයේ කොටසක් වූ විට ස්වදේශීකයන් ඔවුන්ගේ රක්ෂස්ථානය ලෙස ඌවේ ගෝවින්ද හෙළ හා මිණීපේ වැනි ප්‍රදේශ තෝරා ගනු ලැබුවේය.
1070 දී සොළී පාලනයෙන් රජරට මුදවා ගැනීම සඳහා සේනා මෙහෙය වූ පළමුවන විජයබාහු රජුගේ ( 1054-1110 ) ප්‍රධාන සේනාංකය මධ්‍යම කඳුකරයට නැගෙනහිරින් මහියංගණය හරහා ඌවේ ප්‍රදේශ ඔස්සේ ඉදිරියට ගමන් කර විජයග්‍රහණය කළේය. 1072 -1073 කාලයේ රාජාභිෂේක ලැබීමෙන් පසු පළමුවන විජයබාහු රජු සිදු කළ කාර්යය සාධන ව්‍යාපෘති අතර ඌවේ මහියංගණ විහාරය, උරුවෙල විහාරය ප්‍රතිසංස්කරණය සහ ඌව හරහා ශ්‍රී පාදස්ථානය වෙත වූ වන්දනා මාර්ගය ප්‍රතිසංස්කරණය කරවීම ද විශේෂිතය.
පොළොන්නරුවේ මහ පරාක්‍රමබාහු රජුගේ (කි‍්‍ර.ව. 1153 – 1186 ) මූල් පාලන කාලයේ එනම් 1156 -1157 අතර කාලයේ මානාභරණ කුමාරයාගේ මව වූ සුගලා දේවියගේ ප්රතිවිරෝධයන්ට මුහුණ දීමට ඔහුට සිදුවූ අතර දෙපාර්ශවයේ දීර්ඝ සටන් ඌවේ කඳුකර බිම් හා නැගෙනහිර බෑවුම් ප්‍රදේශ සංග්රාම භූමි කරගනිමින් පැතිර ගියේය. 13 වන සියවසේදී රජරට ශිෂ්ටාචාරය ස්ථීර ලෙස අතැහැර දැමුණු පසු රාජධානිවල කේන්ද්‍රය නිරිත දිග නාගරීකරණය වූ ප්‍රදේශ වෙත විතැන් වූ කෙටි සහ අස්ථාවර කාලවකවානුවල ඌවේ වැසියෝ වන්නිවරුන් නමින් හැඳීන්වුණු ප්‍රාදේශීය පාලකයින් යටතේ රජුට පක්ෂපාතිත්වය දැක්වූයේ නමුත් උද්දීප්තියට පත් කෝට්ටේ පාලන කාල සීමාවලදී ඌව සහ බින්තැන්න රජුගේ පාලනයට අයත් රටවල් අතරින් දෙකක් විය.
සීතාවක පළමුවන රාජසිංහ (1554 – 1593 ) රජුගේ පාලනයට කළක් ඌව අයත්ව පැවතියේය. 15 වන සියවසේ සිට උඩරට කඳුකරය ඌවේ ප්‍රදේශ ගණනාවක්ද සමග වෙනත් රාජවංශික පරපුරක් යටතේ වෙනම පාලන ප්‍රදේශයක් ලෙස වැඩෙමින් පැවතියේය. 16 වන සියවස අග ( 1594 ඔක්තෝම්බරයේ ) පළමුවන විමලධර්මසූරිය රජු සිය රාජ්‍යත්වය තහවුරු කරගැනීම උදෙසා පෘතුගීසීන්ට එරෙහිව දන්තුරේදී සිදු කළ යුධ ජයග්‍රහනයේ වැඩි ගෞරවය ඌවේ සේනාවන්ට හිමිවු අතර, කන්ද උඩරට රාජධානියේ මූලාරම්භක අවස්ථාවේ සිට ඌව එහි ප්‍රධාන පාලන ප්‍රදේශයක් විය. ඔහුගේ අනුප්‍රාප්තික සෙනරත් රජු (1604-1635) ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ඌවේ වීදියේ බණ්ඩාර කුමාරයා වූ නමුත් ඔහුගේ මරණය සෙනරත් රජගේ අධීෂ්වරත්වය තහවුරු කළේය,
රජරට ශිෂ්ඨාචාරයේ යුව රජුගේ පාලන ප්‍රදේශය ලෙස රෝහණයට හිමිව තිබූ වැදගත්කම කන්ද උඩරට මුල් රාජධානි සමයේදී ඌවේ බදුල්ලට හිමිවිය. 1630 සෙනරත් රජුගේ පාලන කාලයේදී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයාගේ අණ මෙහෙයවන ලද කපිතාන් ජනරාල් කොන්ස්තන්තිනෝ ද සා නොරොඤ්ඤා තමාම මෙහෙය වන ලද සේනාංකය සමග කන්ද උඩරට ආක්‍රමණය කර සිය ප්රයාණය බදුල්ල දක්වාද විහිද වූයේය. ඌවේ සිංහලයෝ ඔවුන්ට වඩාත් රුචිකර වූ සැඟවී වටකර පහරදීමේ යුධ උපක්‍රමය අනුගමනය කරමින් 1630 අගෝස්තු 24,25 දෙදින තුලදී එම කපිතාන් ජනරාල්වරයාද ඇතුලූ පෘතුගීසි සේනාවෝ සමූල ඝාතනය කරමින් රන්දෙනිවල සටන නමින් ඉතිහාසයේ ගරුනාම ගැන්වී ඇති සංග්රාම විජයග්‍රහණය සනිටුහන් කළේය.
මේ සටනින් පසු ඌවේ උප රාජයා ලෙස සෙනරත් රජුගේ ප්‍රත්‍රයෙකු වූ කුමාරසිංහ කුමාරයා පත්වූයේය. 1630-1635 කාලයේ ඒ ප්රදේශාධීෂවරත්වය දැරූ කුමාරසිංහ කුමාරයා සිය අර්ධ සහෝදරයා වූ දෙවන රාජසිංහ ( 1629-1687 ) රජු විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු ඌව කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන දිසාවනියක් බවට පත්වුයේය. ඌවේ ජන බලය උඩරට රාජධානියේ බොහෝ කාලවකවාණුවලදී තීරණාත්මක විය. 1709 දී පමණ වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජුට එරෙහිව සිදු කෙරුණූ කුමන්ත්රණයේදී ද 1760 කීර්ති ශ්‍රි රාජසිංහ රජුට එරෙහිව සිදුකෙරුණු කුමන්ත්රණයේදී ද ඌවේ ජන ප්‍රධානීන් ප්‍රභල භූමිකාවක් උසුලනු ලැබුවේය.
1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන විටම ඌව සඳහාද ආණුඩුකාරයාගේ උප ඒජන්තවරයෙකු (නේවාසික නියෝජිතයකු ) පත් කෙරිණි. විදේශීය ජාතියකගේ පාලනයකට එරෙහි ස්වදේශිකයන්ගේ අසතුට හා පෞරාණික ආයතන හා චාරිත්‍ර විධි ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාතිකත්ව හැඟීම් විසින් පොළඹවාලු බ්‍රිතාන්‍යන්ට එරෙහි ඌව වෙල්ලස්සේ නිදහස් අරගලය 1817 ඔක්තෝම්බරයේ ඌවේ නැගෙනහිර කඳුකරයෙන් ඇරඹිණි. 1818 පෙබරවාරි වන විට කන්ද උඩරට බොහෝ ප්‍රදේශවල එක ලෙස පැතිර පැවති ස්වාධීනත්වය සඳහා වූ ඒ ජාතික විමුක්ති අරගලය මර්ධනය සඳහා ඉංග්‍රීසීහු අනුගමනය කළ දරුණු ප්රහාරයන් ඌවට බොහෝ අහිතකර ප්‍රතිඵල අත්කර දුන්නේය. සටනේ ඉදිරිපෙළ ජන නායකයින් 17 දෙනෙකු රාජ ද්‍රෝහීන් ලෙස නම් කෙරුණු අතර ඉංග්රීසින්ගේ ගණනයන්ට අනුව 10,000 ක පමණ ස්වදේශීකයින් ප්‍රමාණයක් මරා දැමිණි. ඌවේ ජනාවාස, වගාභූමි, පාරාම්පරික කර්මාන්ත හා ජන දිවියට වූ හානිය තක්සේරු කළ නොහැකි තරම් විශාල වූයේය. විප්ලවයේ අරුණළු භූමිය ඉංග්රීසිංන්ට කෙතරම් නොරුස්සන සුළුවීද යත් ඇතැම් ඉංග්‍රීසි ලේඛකයින් ම පවසන පරිදි ගින්නෙන් පුළුස්සා දැමුණු ඌව කෘත්‍රිම කාන්තාර භූමියක් බඳු වූයේය. තවත් වසර 70 ක් පමණ නොසලකා හැරුණූ ප්‍රදේශය 1886 පෙබරවාරි 05 දිනැති අංක 4711 දරන ගැසට් පත්‍රයෙන් නම් කෙරෙන තෙක් ආවේනික විශේෂතා සහිත වෙනම පරිපාලන පළාතක් ලෙස නොසැලකිනි.
කලක් කන්ද උඩරට උපරාජයාගේ මාලිගා සංකීර්ණය පිහිටි බදුල්ලේ කුඩා උස්බිම දෙවනුව ඌවේ ඉංග්‍රීසි ඒජන්තවරයාගේ පරිපාලන හා හමුදාමය බල කඳවුර ඉදිකිරීමට තෝරා ගැනිණි. පසුව එය රජයේ පරිපාලන කාර්යාල – පොලිසිය, හා උසාවි සංකීර්ණය ද එක් කෙරෙමින් සංස්කරණය විණි.
ඌව, පළාත් පාලන පහසුව සඳහා බින්තැන්න, වෙල්ලස්ස, වියළුව, බුත්තල, වැල්ලවාය, උඩුකිඳ හා යටිකිඳ යනුවෙන් හැඳින්වුණු ඒකක 07 කට වෙන්කර තිබුණු අතර ඒ ප්‍රදේශ කෝරළ 30 කින්ද ආරච්චි වසම් 162 කින්ද සමන්විත විණී. 1931 දක්වා ඌව එක් ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකන ලද්දේ නමුත් 1931-1947 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඌව පළාතට බදුල්ල, බණ්ඩාරවෙල හා බිබිල වශයෙන් කොට්ඨාශ 03 ක් ද, යළි 1946 සංස්කරණයෙන් පසු අළුත්නුවර, බදුල්ල, බණඩාරවෙල, වැලිමඩ, හපුතලේ හා බුත්තල යනුවෙන් පළාතට ඡන්ද කොට්ඨාශ 10 කටද ඛෙදා වෙන් කෙරිණී.
1960 දී පළාත් බදුල්ල හා මොණරාගල යනුවෙන් කොට්ඨාශ 06 ක්ද 1959 දී පළාතට ඡන්ද කොට්ඨාශ 10 කටද 1976 සංශෝධනයේදී ඒයම යළි කොට්ඨාශ 12 කටද ඛෙදා වෙන් කෙරිණී.
1960 දී පළාත බදුල්ල හා මොනරාගල යනුවෙන් පරිපාලන දිස්ත්‍රික්ක දෙකකට ඛෙදා වෙන් කෙරිණි.