මහින්ද ගම්මන්පිල කලා විශේෂවේදී උපාධියක්ද, සමාජ විද්‍යාව සම්බන්ධයෙන් බර්මින්හැම් විශ්ව විද්‍යලයේ විශාරද උපාධියක්ද දරන රාජ්‍ය පරිපාලන සේවයේ විශ්රාමික නිලධාරියෙකි. ඔහුගේ විශේෂඥ දැනුම රාජ්‍ය ප‍්‍රතිපත්ති, සංවර්ධන පරිපාලනය, ප‍්‍රජා සංවර්ධනය, ශ‍්‍රම අධ්‍යයන, ඵලදායිතා ප‍්‍රවර්ධනය සහ ආයතනික හැකියා කළමනාකරණය යන අංශයන්ට කේන්ද්‍ර වී ඇති අතර ඔහු කළමනාකරණ, උපදේශකයකු හා පුහුණුකරුවෙකු වශයෙන්ද සේවය කර ඇත.

අවුරුදු 35ක සිය රාජ්‍ය සේවය තුළ ඔහු පරිපාලන දිස්ත‍්‍රික්ක සහ කොට්ටාස කිහිපයකම සේවය කර ඇති අතර ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (ස්ලීඩා) හි අතිරේක අධ්‍යක්ෂක, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වැනි ජ්‍යේෂ්ඨ තනතුරු ගණනාවක් හොබවා, අවසානයේ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කර විශ‍්‍රාම ගොස් ඇත. ජාතික ඵලදායිතා මහලේකම් කාර්යාලය ස්ථාපනය කිරීම, කම්කරු අමාත්‍යාංශයේ JobsNet ජාලය සහ රාජ්‍ය අංශයේ ආයතනයික සහ උපයෝගිතා සංවර්ධනයට වැදගත් වන තවත් මුලපිරීම් ගණනාවක් සඳහා ඔහු දායකත්වය දක්වා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සහ ආසියානු ඵලදායිතා ආයතනයේ වාර්ෂික රැස්වීම් වැනි අන්තර්ජාතික සම්මේලන ගණනාවකදී මහින්ද ගම්මන්පිල මහතා ශ‍්‍රී ලංකාව නියෝජනය කර ඇත. විශ‍්‍රාම යෑමෙන් පසු ඔහු සතොස (සමූපකාර තොග වෙළඳ සංස්ථාව) හි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ විදේශ ආධාර මත සිදු කරන ව්‍යාපෘතීන්හි ජාතික උපදේශකවරයෙකු වශයෙන් ද , ලෝක බැංකු ආධාර මත ක‍්‍රියාවට නැංවූ අධ්‍යාපන අංශය සංවර්ධන කිරීමේ රාමුගත වැඩසටහනෙහි අධීක්ෂණ හා කළමනාකරණ උපදේශක වශයෙන් ද සේවය කළේය. එමෙන්ම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙහි දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ බලය විමධ්‍යගත කිරීම සහ පළාත් පාලනය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවේ බාහිර කථිකාචාර්යවරයෙකු සහ පාඨමාලා සම-සම්බන්ධීකාරකවරයෙකු වශයෙන්ද සේවය කළේය.

විනිසුරු ඒ.ඩබ්ලිව්.ඒ. සලාම් 1976.09.18 වන දින නීතීඥවරයෙකු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් අතර, 1982.01.01 වන දින සිට කණිෂ්ඨ අධිකරණයට එක් විය. ඔහු මහේස්ත‍්‍රාත්වරයෙකු, දිසා අධිකරණ විනිශ්චයකාරවරයෙකු, අධිකරණ සේවා කොමිසමෙහි ලේකම්, මහාධිකරණ විනිසුරුවරයෙකු සහ වාණිජ මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස සේවය කළේය. ඔහු 2007 මාර්තු මාසයේදී අභියාචනාධිකරණ විනිශ්වයකාරවරයෙකු වශයෙන් පත් කෙරුණු අතර පසුව අභියාචනාධිකරණයේ ගරු සභාපති වශයෙන් ද තේරී පත් විය. දශක තුනකට අධික සේවා කාලයකට පසු 2014.09.04 වන දින ඔහු අධිකරණ සේවාවෙන් විශ‍්‍රාම ගත්තේය. 2015 වසරේ අධිකරණ සේවා සංගමයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් ඔහු අවධාරණය කර සිටියේ අධිකරණ ස්වාධීනත්වය තුළින් අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පිළිබඳවය.

විශ‍්‍රාම යාමෙන් පසු ශ‍්‍රී ලංකා විනිසුරු ආයතනයේ ජ්‍යේෂ්ඨ සම්පත් දායකයෙකු වශයෙන් සේවය කළ ඔහු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත්වීම් ලබා, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ රාජකාරි ගන්නා තෙක්ම එහි සේවය කළේය.

කිශාලි පින්ටෝ-ජයවර්ධන, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නීතිය ප‍්‍රතිඵල කළ 2003/2015 කෙටුම්පත්කරණ කමිටුවල සාමාජිකාවක වශයෙන් සේවය කළාය. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් ගෞරව පන්ති උපාධියක් ලබා ගත් ඇය 1997 සිට 2007 දක්වා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධ නඩුවලට පෙනී සිටියාය. ඒ අනුව සාමාන්‍ය පුරවැසියන්ට එරෙහිව අධිකරණ අපහාසය යොදාගැනීම සීමා කිරීම පිළිබඳ උත්පාදක මතය ගෙන හැර දැක්වූ ප‍්‍රනාන්දු එරෙහිව රජය, (අංක 1189/2003/2005) නඩුව ඇතුළත් නඩු කටයුතු ගණනාවක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ ප‍්‍රතිෂ්ඨාවකින් තොරව (ගාස්තු අයකිරීමකින් තොරව)පෙනී සිටියාය. අනතුරුව 2006 වසරේදී ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධයෙන් නීති කෙටුම්පත් සම්පාදනය කළාය. 1998 වසරේ සිට 2016 සැප්තැම්බර් දක්වා ද සන්ඬේ ටයිම්ස් පුවත්පතේ කර්තෘ මණ්ඩල (නීති) උපදේශිකාව වශයෙන් කටයුතු කළ ඈ, එම පුවත්පතේ නීතියේ ආධිපත්‍යය සුරැකීමට ඇති අභියෝග පිළිබඳ දිගුකාලීන තීරු ලිපියක් සම්පාදනය කිරීමට ද දායක වන්නීය.

ජ්‍යෙෂ්ට නීති උපදේශිකාවක සහ විශේෂඥ උපදේශිකාවක වශයෙන් ඇය කටයුතු කර ඇති ආයතන අතරට එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය අධ්‍යයන කේන්ද්‍රය, එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ආයතනය, ඩෙන්මාර්කයේ වධ හිංසාව පිළිබඳ පර්යේෂණ ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක බැංකුව සහ නීති විශාරදයන්ගේ අන්තර්ජාතික කොමිසම අයත් වේ.

සැල්ස්බර්ග් අධිශිෂ්‍යත්වධාරිනියක සහ නවදිල්ලි විශ්ව විද්‍යාලයේ සාමය පිලිබඳ විද්‍යාර්ථියෙකු ද වන ඇය, කැන්බරා හි ඔස්ටේ‍්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සම්භාවනීය ආරාධිතයෙකු ද වන්නීය. 2014 වසරේදී ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විසින්, සිය සගයන්ගේ සහ මහ ජනතාවගේ අගැයීමට ලක්වන පුවත්පත් කලාවේදියාට හිමි ඞී. ආර්. විජේවර්ධන සම්මානය සඳහා ඇය ඒකමතිකව නාමයෝජනා කරන ලදී. 2016 වසරේ ඇය නැවතත් මෙම සම්මානය පිළිගත්තේ තොරතුරු දැනගැනීම් අයිතිය පිළිබඳ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන් වෙනුවෙනි. 2004 සිට 2014 දක්වා නීතිය හා සමාජ භාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව, එල්එස්ටී රිවීව් හි සංස්කාරක සහ නියෝජ්‍ය සංස්කාරක මෙන්ම අභියාචනා නීති වාර්තාකරු ලෙස කටයුතු කළ ඇය, Rule of Law in Decline (RCT,2009), Still Seeking Justice (ICJ-2010) සහ Embattled Media (Sage, 2015) (සම සංස්කරණය) ඇතුළත් ග‍්‍රන්ථ ගණනාවක් රචනා කර තිබේ.

එස්. ජී. පුංචිහේවා මහතා නීතිඥවරයෙක් සහ මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් ද වේ. මානව හිමිකම් නීතිඥවරයෙකු වශයෙන් මතභේදාත්මක නඩු කටයුතු ගණනාවක් සඳහා ඔහු පෙනී සිට ඇත. ඒවායින් ඇතැමක් අසූ ගණන්වල අගභාගයේ ඇඹිලිපිටියේ සිසුන් තිස් දෙනෙකුට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වීම වැනි යුක්තිය පරිපාලනය කිරීමට අදාළ සන්ධිස්ථානීය නඩු වේ.

සමාජ ක‍්‍රියාකාරිකයෙකු වශයෙන් ගතවූ දශක තුන-හතර ඇතුළත ඔහු ශ‍්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර ගණනාවකට සෘජුවම සම්බන්ධ වී ඇත. තවද ඔහු සක‍්‍රිය වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙකු ද වේ. තවද ඔහු අධ්‍යාපනඥයෙකු මෙන්ම ආරවුල් නිරාකරණය, මානව හිමිකම්, භාෂා අයිතිවාසිකම් සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ දැනුමැති පුහුණුකරුවෙකු ද වේ.

හසල කතුවරයෙක් සහ පරිවර්තකයෙක් ද වන ඔහු, සිංහල බසින් ප‍්‍රකාශන 35ක් පමණ රචනා කර ඇති අතර, ජර්නල ගණනාවක් මෙන්ම පුවත්පත් ලිපි රචකයෙක් ද වේ. මේ අතරට Let Us Study Human Rights (Savitri Publications, 2013) භාෂා අයිතිවාසිකම (CPA, 2009), ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලෝත්පාදක ග‍්‍රන්ථයක සිංහල පරිවර්තනය (USAID, 2010) සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කුඩා පොත් සප්තකයක් (CPA, 2015) ද වේ.

ආචාර්ය සෙලවී තිරුචන්ද්‍රන්, කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රයෙහි භාරකරු හා හිටපු විධායක අධ්‍යක්ෂකවරිය ද වෙයි. එසේම ඇය සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ කමිටු සාමාජිකාවක්, නූල්හැම් පදනමේ සහ සමාජ සංවර්ධන සහ පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් වශයෙන් සේවය කරයි. තවද ඇය පේරාදෙණිය සරසවි මන්ත‍්‍රණ සභාවේ ද සේවය කරන අතර 2015 – 2017 සමයේ එක්සත් ජාතීන්ගේ සිවිල් සමාජ කාන්තා උපදේශන කණ්ඩායම වෙනුවෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරන්නීය.

ඇගේ සුදුසුකම් අතරට, පේරාදෙණිය විශ්ව විද්‍යාල කලා උපාධිය, නෙදර්ලන්තයේ කාන්තා අධ්‍යාපනය පිළිබඳ ආයතනයේ පශ්චාත් උපාධිය, ඇමස්ටර්ඩෑම්හි ව්රිජ් සරසවියේ සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ඇතුළත් වේ. දෙමළ හා ඉංග‍්‍රීසි බසින් ඇය සිදුකර ඇති විද්වත් දායකත්වයන් අතර ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය, ස්ත‍්‍රීවාදී පර්යේෂණ ක‍්‍රමවේදය, ස්ත‍්‍රීන් සවිබල ගැන්වීම, ස්ත‍්‍රිය සහ ආගම, දේශපාලනය තුළ කාන්තාවෝ සහ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය යනාදියට අදාළ ගැටළු ආවරණය වේ.

ඉංග‍්‍රීසි බසින් ඇය රචනා කළ ග‍්‍රන්ථ අතරට A Pot-pourri of Debates: Dialogue and a Discourse (WERC, 2013), Writing Religion: Locating Women (SSA, 2012), Women’s Movement in Sri Lanka: History, Trends and Trajectories (WERC, 2012), Feminine Speech Transmissions: An Exploration into the Lullabies and Dirges of Tamil Women (Vikas Publishing House, New Delhi, 2001) සහ The Other Victims of War: Emergence of Female Headed Households in Eastern Sri Lanka (Vikas Publishing House, New Delhi, India, 1999) ඇතුළත් වේ.